JETHAVANARAMAVIHARAYA

සදහම් ලිපි

සැප යනු වෙස් වලා ගත් දුකකි

01 මාර්තු, 2017

සැප යනු වෙස් වලා ගත් දුකකි

ධර්මයට අනුව කර්ම කරන්නෙක් හෝ විපාක විදින්නෙක් නැත. කර්මය කරන කෙනෙකු නොමැති කල කර්මය පල දෙන්නෙ කාටද? ගොනෙකු නොමැති නම් කරත්තය යන්නෙ කවරෙකු පසුපසද?

සැප යනු වෙස් වලා ගත් දුකකි...

දිනක් ශ්‍රාවකයෙකු තථාගතයන් වහන්සේගෙන් මෙසේ විමසයි.

උපදින්නේ එයාමද ස්වාමිනි? එසේ කිව නොහැක
උපදින්නේ වෙන අයෙක්ද ස්වාමීනි? එසේද කිව නොහැක
එයත් නොවන වෙන අයෙකුත් නොවන කෙනෙකුද ස්වාමීනි? එසේද කිව නොහැක

එයාමද උපදිනේ යයි විමසන්නේ ආත්ම දෘෂ්ඨියේ සිටය.
උපදින්නේ එයා නොවන කෙනෙකු දැයි විමසන්නේ ආනාත්ම දෘෂ්ඨියේ සිටය.
එයත් නොවන වෙන අයෙකුත් නොවන කෙනෙකු දැයි විමසන්නේ යටකී දෘෂ්ඨි දෙකෙහිම  එලඹ ගෙනය.

සත්වයා තුල මම නොහොත් ආත්ම දෘෂ්ඨිය කිදා බැස ඇත. මමත්වය යනු “මම” යන අදහස පමනක් නොවේ. මමත්වය යනු නැති ලෝක ස්වභාවයක් පවතින ලෙස දැකීමයි.

මෝටර් රථය ද්‍රවය සමුහයක එකතුවකි. මෝටර් රථය වෙනුවෙන් මනුෂ්‍යයා සිතීමේ රාජකාරිය සිදු කරයි. එසේ සිතන්නේ තමා ඊට ස්වාමි වීමෙනි. ද්‍රව්‍ය සමුහයක එකතුවකට නමක්/ පැවැත්මක් ආරූඪ කරන්නේ මිනිසුන්ය.

ආත්ම දෘෂ්ඨියටත් අනාත්ම දෘෂ්ඨියටත් වෙනස් දෘෂ්ඨියක් පවතියි. හේතුඵලවාදය යනු එයයි.

“හේතුං පටිච්ච සම්භූතං හේතු භංගා නිරුජ්ජතී”
හේතූන් ගැලපිලා බැඳුනු කල ඒ හා බැඳුනු උපතක් හට ගනියි. හේතූන් නොමැති වූ කල එය නැතුව යයි.

එහෙයින් යම් දෙයක් ස්ථිරව පවතිනවා යයි කිව නොහැක, නොපවතිනවා යයිද කිව නොහැක. හේතුන් ගැලපිලා බැඳුනු කල යම් දෙයක් ඇතැයි දිස්වෙයි, වැටහෙයි දැනෙයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ගති ලක්ෂණ ගැලපිලා බැඳුනු කල භෞතික රූපයක් හටගනියි.

අතීත කර්ම ඵල ගැලපී බැඳුනු කල කෙනෙකුගේ කර්මජ රූපය සැකසෙයි. විඳීම විඳවීම ඒ තුලින් පැමිනෙයි. කර්මය හේතුව වෙයි. විඳීම විඳවීම ඵලය වෙයි. හේතුව නැති කිරීමෙන් ඵලය නැතිවෙයි. ඒ තුල විඳින්නේ කවුද විමසීම හරසුන්ය.

කර්ම ඵලවාදය යනු හේතු ඵලවාදය තුල එන කුඩා පරිඡේදයකි. බුදු දහමේ පදනම හේතු ඵලවාදයයි.

සරළව ගතහොත් මම යයි මායාවේ එලඹ සැප සොයා යයි. සැප ඇතැයි සිතා සියල්ල අල්ලා ගැනීමට වෙර දරයි. සැප සොයා යාම තුල කර්ම රැස් කරයි. කර්ම ගැලපී ඒ හා බැදුණු නව උත්පත්ති ගෙන දෙයි. මෙම චක්‍රය බිඳිය හැක්කේ ආත්මවාදය හෝ පුද්ගලවාද විමසීම තුලින් නොව හේතුඵලවාදය විමසීමෙනි.

සියල්ලේ මුල් බීජය මමත්වයයි. මමත්වය හේතුන්ගේ ඵලයකි, මෝහය නැතහොත් මෝඩකම නිසා එය හට ගනියි. එය ලෙහෙසියෙන් විනාශ කල නොහැකිය. මමත්වය තුරන් කල හැක්කේ අවබෝධ කිරීමෙන් පමණි.

සෙවනැල්ල තුරන් කල හැකි වන්නෙ ඒ දෙසට විහිදුවන ආලෝක ධාරාවකින් පමණි. මමත්වය දුරු වන්නෙ ඒ දෙසට එල්ල කරන ප්‍රඥාලෝකය මගිනි. අනිච්ච, දුක්ඛ, අනත්ත අවබෝධය තුල ගැබ්ව ඇත.

ධර්ම දේශනා ඇසුරිනි
කීර්ති රත්නායක  

මෙය බෙදා හරින්න

Facebook Twitter Email WhatsApp

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න