JETHAVANARAMAVIHARAYA

නිවේදන

කොරෝනා වසංගතය : ආරාමය නැවත විවෘත කිරීම

28 සැප්තැම්බර්, 2020

තෙරුවන් සරණයි,

2020 ඔක්තෝබර් මස 7 වන බදාදා දින පැවැත් වීමට නියමිත වූ දේශනාව නොපැවැත්වේ !

කොරෝනා වසංගතය අපේ රටේ ශීඝ්‍රයනේ ව්‍යාප්ත වූ කාලය තුළ ඔබ අප සියලු දෙනාගේ සෞඛ්‍යාරක්ෂාව පිණිස, ආරාමය ස්වයං-නිරෝධායනයට ලක් කිරීමට අප තීරණය කළ බව අප ආරාමය හා සබැඳි ඔබ සියලු දෙනා හොඳින් දන්නා කාරණාවකි. එතැන් සිට මේ වන තුරු රජයේ සෞඛ්‍ය හා ආරක්ෂක අංශ අප වෙත ලබා දුන් උපදෙස් පරිදි කටයුතු කරමින් නිරෝධායන වැඩපිළිවෙල දිගටම පවත්වාගෙන ඒමට අපි කටයුතු කළෙමු.

මේ වන විට අප රට තුළ මෙම රෝග තත්ත්වය බොහෝ දුරට පාලනයට නතු කර ගැනීමට හැකි වී ඇති බැවින් ඔබ සියලු දෙනාට ඔබේ ආරාමය නැවත විවෘත කර, ක්‍රමක්‍රමයෙන් දේශනා, භාවනා ආදී වැඩසටහන් ඉදිරි කාලය තුළ ආරම්භ කිරීමට ආරාමයේ සංඝ සභාව තීරණය කර ඇත. ඔබ සියලු දෙනාගේ සෞඛ්‍යාරක්ෂාවට හානියක් නොවන අන්දමින් කටයුතු කිරීම අපේ වගකීමක් කොට සලකන බැවින් මෙම තීරණය ක්‍රියාත්මක කිරීම අදියර කිහිපයකින් සිදු කරන්නට අපි බලාපොරොත්තු වෙමු.

මෙහි පළමු අදියර ලෙස 2020 ඔක්තෝබර් මස 7 වන බදාදා දින ප.ව. 2:00 සිට ප.ව. 7:00 දක්වා ධර්ම දේශනා වැඩසටහනක් පැවැත්වීමට අපි බලාපොරොත්තු වෙමු. රෝග ව්‍යාප්තිය අවම කරමින් ඔබ අප සියලු දෙනාගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීම සඳහා ආරාමයට පැමිණෙන්නට බලාපොරොත්තු වන ඔබ සියලු දෙනා සිහිතබා ගත යුතු වැදගත් කරුණු කිහිපයක් පහතින් දක්වා ඇත.

  • මෙදින විශේෂ සෞඛ්‍යාරක්ෂක වැඩසටහනක් ක්‍රියාත්මක වේ. ඒ සඳහා ඔබේ පූර්ණ සහයෝගය ලබාදෙන මෙන් කරුණාවෙන් ඉල්ලා සිටිමු.
  • සියලු දෙනා මුඛ ආවරණයක් රැගෙන පැමිණ, ආරාම භූමියට ඇතුළු වන විට එය පැළඳ, ආරාමයෙන් පිටව යන තුරු පැළඳ සිටින මෙන් කාරුණිකව සිහිපත් කරමු.
  • අවශ්‍යතාවය අනුව අපට ඔබේ ශරීර උෂ්ණත්වය පරිෂා කිරීමට සිදු විය හැක. එම පරික්ෂාව සිදු කිරීමට සිදු වුවහොත් ඒ සඳහා ඔබේ සහයෝගය ලබාදෙන්නට කාරුණික වන්න.
  • ඔබට පොදු හෝ පෞද්ගලික හෝ රථ වාහනවල පැමිණිය හැක. සුපුරුදු පරිදි ඔබේ පෞද්ගලික රථය ගාල් කිරීමට පහසුකම් සපයා දීමට අපි බලාපොරොත්තු වෙමු.
  • ආරාම භූමිය තුළට ඇතුළු වීමට හැක්කේ ප.ව. 1:00න් පසුව පමණි. එමෙන් ම ප.ව. 8:00 වීමට ප්‍රථම සියලු දෙනා ආරාම භූමියෙන් පිටත් වීමට කාරුණික වන්න.
  • ඔබේ දරුවන්ගේ ආරක්‍ෂාව සඳහා කුඩා දරුවන් සහ දේශනා කාලය තුළ අසුන්ගතව දේශනාව ශ්‍රවණය කිරීමට අපහසු දරුවන් කැටුව ඒමෙන් වළකින්න.
  • සෞඛ්‍යාරක්‍ෂක නිර්දේශ පරිදි හැකි උපරිමයෙන් දුරස්ථභාවය පැවැත්වීම සඳහා ධර්ම ශාලාව තුළ ආසන පනවා තිබෙනු ඇත. සංවිධායක කමිටුව ඔබව නිශ්චිත ආසනයකට යොමු කළහොත් කරුණාවෙන් ඊට සහයෝගය දක්වන්න.
  • මෙදින විශේෂ හේතුවක් නොමැතිව ස්වාමින් වහන්සේලා හෝ අනගාරික මහත්වරුන් හෝ මුණ ගැසී සාකච්ඡා කිරීමට අවස්ථාවක් නොමැති බව කණගාටුවෙන් යුතුව සිහිපත් කරමු.

ඉහත කරුණු සම්බන්ධයෙන් ඔබේ සැලකිලිමත්කම සහ සහයෝගය මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමට මෙන් ම ඉදිරි වැඩසටහන් සංවිධානය කිරීමට ද පිටිවහලක් වනු ඇත. පළමු අදියරේ දී වෙනත් වැඩසටහන් කිසිවක් ආරාමයේ නොපැවැත්වෙන අතර, ඉහත දිනය හැර අනිකුත් දිනයන්හි දී ආරාමය වසා තැබෙන බව කරුණාවෙන් සලකන්න. වසංගත රෝග තත්ත්වය නිරීක්ෂණය කරමින් රාජ්‍ය නිර්දේශයන්ට යටත්ව ඉදිරි කාලය තුළ අනෙකුත් වැඩසටහන් නැවත ආරම්භ කිරීම පිළිබඳව ඉදිරියේ දී අපි ඔබව දැනුවත් කරන්නෙමු.

වැඩිදුර විස්තර අවශ්‍ය නම් 077-333-6274 දුරකථන අංකය හරහා තොරතුරු ලබාගත හැක. (voice/WhatsApp/Viber)

2020 ඔක්තෝබර් මස 7 වන බදාදා දින ප.ව. 2:00 සිට පැවැත්වෙන මෙම සද්ධර්ම දේශනා වැඩසටහනට සහභාගී වීමට ආරාමයේ අප සියලු දෙනා ඔබට මෙත් සිතින් යුතුව ආරාධනා කර සිටිමු.

නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතර වෙත්වා!


වෙනත් නිවේදන...

 

ඔබගේ අදහස් අපගේ වෙබ් අඩවිය වැඩිදියුණු කිරීමට උපකාරී වේ. මෙම පිටුව සඳහා ඔබගේ

අදහස් සහ යෝජනා යොමු කරන්න